දරුවන්ට ‘ඩෙංගු’ හැදුණු පසු දෙමාපියන් කරන බරපතළ වැරදි

වෛද්‍ය අජිත් අමරසිංහ
MBBS, M.D.,DCH (COL) MRCP, MRCPCH (U.K) MBA (Healthcare) (Manipal),DAA (Vellor) Consultant Pediatrician 

අද කාලයේ දරුවෙකුට උණක් හැදුනාම දෙමාපියන් කලබල වෙන්නේ දරුවට ඩෙංගු හැදිලද කියන බයට. මේ දිනවල මෝසම් වැසි ඇදහැලෙමින් තිබෙනවා. මේ වැස්ස ආවේ ගොඩක් ප්‍රමාදවෙලයි. වැස්ස අවසන් වුණාම තමයි ඩෙංගු පැතිරෙන්න පටන් ගන්නේ. ඒ නිසා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීම මගින් තත්ත්වය පාලනය කළ හැකිය. පාසල්, රෝහල්, රජයේ ආයතන වැනි පොදු ස්ථාන, ශ්‍රමදාන මගින් පිරිසිදු කිරීම ඩෙංගු මදරුවන් බෝවීම පාලනය කළ හැකියි.
ඒ වගේම නිවස අවට පවිත්‍රව තබා ගැනීම ඉතා වැදගත්. දරුවන් නිදන ඇඳන් මදුරුදැල් මගින් ආවරණය කිරීම, දරුවන් එළිමහනේ ක්‍රීඩා කරද්දී ඔවුන්ට අත්දිග ටී ෂර්ට් සහ කලිසම් ඇන්දවීමෙන් දරුවන් ඩෙංගු මදුරුවාගේ දෂ්ට කිරීම්වලින් වළක්වා ගන්න පුළුවන්.

අද කාලයේ දරුවෙකුට උණක් හැදුනාම දෙමාපියන් කලබල වෙන්නේ දරුවට ඩෙංගු හැදිලද කියන බයට. මේ දිනවල මෝසම් වැසි ඇදහැලෙමින් තිබෙනවා. මේ වැස්ස ආවේ ගොඩක් ප්‍රමාදවෙලයි. වැස්ස අවසන් වුණාම තමයි ඩෙංගු පැතිරෙන්න පටන් ගන්නේ. ඒ නිසා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීම මගින් තත්ත්වය පාලනය කළ හැකිය. පාසල්, රෝහල්, රජයේ ආයතන වැනි පොදු ස්ථාන, ශ්‍රමදාන මගින් පිරිසිදු කිරීම ඩෙංගු මදරුවන් බෝවීම පාලනය කළ හැකියි.
ඒ වගේම නිවස අවට පවිත්‍රව තබා ගැනීම ඉතා වැදගත්. දරුවන් නිදන ඇඳන් මදුරුදැල් මගින් ආවරණය කිරීම, දරුවන් එළිමහනේ ක්‍රීඩා කරද්දී ඔවුන්ට අත්දිග ටී ෂර්ට් සහ කලිසම් ඇන්දවීමෙන් දරුවන් ඩෙංගු මදුරුවාගේ දෂ්ට කිරීම්වලින් වළක්වා ගන්න පුළුවන්.

1. වෛද්‍ය උපදෙස් නොවිමසා ඩෙංගු සඳහා කරන ඇන්ටිජන් පරීක්ෂාව මත පදනම්ව දෙමාපියන්ම ස්වයං තීරණ වලට එළැඹීම

ඩෙංගු උණ හැදෙන්න පටන් ගන්නේ සාමාන්‍ය උණක් හැටියට. සමහර වෙලාවට දැඩි උණක් සමඟ දැඩි හිසරදයක් සහිතව උණ හට ගන්නවා. මෙහිදී දැඩි ලෙස වමනය ඇති වන්නත් පුළුවන්. මේ රෝග ලක්‍ෂණවලින් යුක්තව උණක් හැදෙනවා නම් එය ඩෙංගු උණක් ලෙස සලකා ප්‍රතිකාර පටන් ගත යුතුයි. උණ හැදුණු මුල් දින තුන විශේෂයෙන් කළබල විය යුතු නැහැ. මොකද ඩෙංගු උණ හා රක්තපාත උණ රෝග ලක්‍ෂණ පටන් ගන්නේ උණ හැදී පැය 72 කට පස්සේ. මුල් දින තුළදී ඩෙංගු ඇන්ටිජන් පරීක්‍ෂණය(Antigen Test) මගින් හැදිලා තියෙන උණ ඩෙංගු උණක් ද කියලා තහවුරු කර ගන්න පුළුවන්. මෙම ‘‘ඩෙංගු ඇන්ටිජන්’’ පරීක්‍ෂණය කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මතයි. මෙම පරීක්‍ෂණයේදී කරන්නේ වෛරසය හඳුනාගැනීමයි. නමුත් ඩෙංගු වෛරසය ශරීරගත වූ පමණින් ඩෙංගු උණ රෝග ලක්‍ෂණ මතුවන්නේ නැහැ. ඒ නිසා ‘ඇන්ටිජන්’ පරීක්‍ෂණය විශ්ලේෂණය කළ යුත්තේ වෛද්‍යවරයකු විසින් පමණයි. ‘‘ඩෙංගු ඇන්ටිජන්’’ පරීක්‍ෂණය ‘පොසිටිව්’ (ධන) වූ පමණින් දරුවන් රෝහල්ගත කළ යුතු නැහැ. ඒ වගේ දරුවකුගේ ඉදිරි රුධිර පරීක්‍ෂණය මගින් රුධිරයේ රුධිර පට්ටිකා (Platelets) අඩුවෙනවද කියලා බලලා දරුවා රෝහල්ගත කළ යුතුද, නැද්ද යන්න තීරණය කළ හැකියි. මෙහිදී දරුවාට දැඩි වමනය, හිසරදය තියෙනවා නම් කඩිනමින් රෝහල් ගත කළ යුතුයි.

මෙහිදී සමහර දෙමාපියන්, ඩෙංගු ඇන්ටිජන් පරීක්‍ෂණය දින තුනකට පස්සේ සිදු කරනවා. මෙය වැරදි ක්‍රියාවක්. මෙහිදී පරීක්‍ෂණය නෙගටිව් (සෘණ) වුණොත් දෙමාපියන් නිගමනයකට එනවා දරුවාට ඩෙංගු නැහැ කියලා. මෙය භයානක වැඩක්. සමහර විට පළමු වැනි දින තුන තුළදීත් මෙම පරීක්‍ෂණය ‘නෙගටිව්’ වෙන්න පුළුවන්. මීට ශරීරයේ විවිධ හේතු බලපානවා. එම නිසා මේ පරීක්‍ෂණ සියල්ල විශ්ලේෂණය කළ යුත්තේ වෛද්‍යවරයකු විසින් පමණයි. දෙමාපියන් විසින් මෙම පරීක්‍ෂණ කිරීම ඉතා භයානක වැඩක්.

2. ප්‍රමාණවත් තරම් දියර ආහාර ලබා නොදීම

දරුවාට ඩෙංගු උණ වැළඳී පළමු දින තුන තුළ ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න වන්නේ දරුවාගේ බරට අනුව නිසි මාත්‍රාවට ‘පැරසිටමෝල්’ ලබාදීමයි. වමනය වගේ තත්ත්වයක් තියෙනවා නම් ඊට ඖෂධ ලබාදිය යුතුයි. සාමාන්‍යයෙන් උණ හැදුන ඕනෑම වැඩිහිටියකු වුණත් ඝන ආහාර ප්‍රිය කරන්නේ නැහැ. මෙය දරුවන්ටත් අදාලයි. එම නිසා වැඩිපුර දියර ආහාර දරුවන්ට ලබා දිය යුතුයි. සුප් වර්ග, කැඳ, පලතුරු යුෂ, ජීවනී දියර වැනි දියර වර්ග ලබාදීමෙන් දරුවා විජලනය ඇතිවීමෙන් වළක්වා ගන්න පුළුවන්.

3. උණ රෝගයෙන් පෙළෙන දරුවාව පාසැල් යැවීම

ඩෙංගු උණ වැළඳුණු දරුවකු කිසිසේත්ම පාසල් යවන්න එපා. සමහර දෙමාපියන් දරුවන්ව විභාගවලට, ක්‍රීඩා තරගවලට යොමු කරවනවා. මෙවැනි ක්‍රියා මගින් දරුවන්ගේ උණ තත්ත්වය බරපතළ වෙන්න පුළුවන්. උණ හැදුණ දරුවකුට වැදගත් වන්නේ විවේකයයි. එම විවේකය නිවසේදීම ලබා දීම මගින් ඩෙංගු අවදානම් තත්ත්වයෙන් දරුවා බේරාගත හැකියි. ඒ වගේම දරුවා පාසල් නොයෑමෙන් පාසල තුළ ඩෙංගු උණ පැතිරීම ද පාලනය තුළ හැකියි. එම නිසා ගුරුවරුන් ද තීරණයක් ගත යුතුයි උණ වැළඳුනු දරුවකු පාසලේ තියාගන්නේ නැතිව කඩිනමින් නිවසට පිටත් කිරීමට.

ඩෙංගු උණ වැළඳුණු දරුවන්ගෙන් සියයට දහයක් වැනි ප්‍රමාණයක් තමයි රක්තපාත තත්ත්වයට පත්වෙන්නේ. ඉතිරි පිරිස දැඩි උණක් සහිතව ඔවුන්ගේ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්. මේ පිරිසට නිසියාකාරයෙන් දියර වර්ග ලබාදීමෙන් අවදානම පාලනය කළ හැකියි.

ඩෙංගු රක්තපාත උණ වැළඳුණු දරුවන්ට විශේෂ වෛද්‍යවරයකුගේ උපදෙස් මත නේවාසික ප්‍රතිකාර ලබාදිය යුතුයි. මෙහිදී ශරීරයේ රුධිර පීඩනය මැනීම, දිනකට කීපවරක් රුධිර පට්ටිකා පරීක්‍ෂා කිරීම සහ එමගින් ඇති කරන අතුරු ප්‍රශ්න විසඳීම වෛද්‍යවරයා විසින් සිදුකරනු ලබනවා.

4. විවිධාකාර බෙහෙත් හා ආහාර ආදියෙන් සිරුරේ රුධිර පට්ටිකා ප්‍රමාණය ඉහළ නැංවීමට උත්සාහ දැරීම

සාමාන්‍යයෙන් ඩෙංගු උණ වැළඳී දින හතක පමණ කාලයක් රුධිර පට්ටිකා අඩුවීම සිදුවෙනවා. මේ වන තෙක් මේ කාලය තුළ ශරීරයේ රුධිර පට්ටිකා වැඩි කිරීමේ ක්‍රමයක් වෛද්‍ය පර්යේෂණ මගින් සොයාගෙන නැහැ. දේශීය වෛද්‍ය ක්‍රම අනුව පැපොල් පත්‍ර යුෂ, රතුලූනු යුෂ දීම මගින් රුධිර පට්ටිකා වැඩි කළ හැකි බවට මතයක් තිබෙනවා. නමුත් මෙය බටහිර වෛද්‍ය විද්‍යාව මගින් පර්යේෂණාත්මක තහවුරු කර නැහැ. මේ පිළිබඳව දෙමාපියන් දැනුවත් විය යුතුයි. ඩෙංගු වැළඳුනු දරුවකුගේ රුධිරයේ පට්ටිකා ප්‍රමාණය අඩුවෙන්නේ වෛද්‍යවරයාගේ ප්‍රතිකාර ක්‍රමයේ වැරැද්දක් නිසා නොව එය ඩෙංගු රෝගයේ ප්‍රධාන ලක්‍ෂණයක් නිසා බව දෙමාපියන් තේරුම් ගත යුතුයි. දරුවාට උණ වැළඳී දින හතක පමණ කාලය තුළ රුධිර පට්ටිකා අඩුවිය හැකියි. මෙම කාලය තුළ ඉවසීමෙන් කටයුතු කිරීමට දෙමාපියන් වගබලා ගත යුතුයි.

5. ඔබේ දරුවාට ප්‍රමාණවත් තරම් විවේකයක් ලබා නොදීම

මෙහිදී වඩා වැදගත් වන්නේ ඩෙංගු උණ මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමයි. ඉන් පසු ප්‍රතිකාර ක්‍රමවේදය නිසි අයුරින්ම ක්‍රියාත්මක කර රෝගියාට නිසි විවේකය ලබාදීම ඉතා වැදගත්. ඩෙංගු උණ වැළඳුනු පමණින් රෝහල්ගත විය යුතු නැහැ. මෙහිදී බොහෝ රෝගීන් අනවශ්‍ය ලෙස රෝහලට ඇතුළත් වෙනවා. ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී යන්නේ මේ නිසයි. රෝහලේ උණ රෝගීන් පිරී යෑමෙන් සිදුවන්නේ වෛද්‍යවරුන්ගේ අවධානයට ලක්විය යුතු රෝගීන් ඔවුන්ගේ අවධානයට ලක් නොවීමයි.

6. වැඩිදුර ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයා විසින් දරුවාව රෝහල් ගත කිරීමට නියම කරන තෙක් බලාසිටීම

ඩෙංගු උණ සම්බන්ධයෙන් වැරදි මත කිහිපයක් සමාජගත වී තිබෙනවා. ඉන් එක මතයක් තමයි ඩෙංගු උණ වැළඳුනු සියලූම රෝගීන් රෝහල්ගත විය යුතුයි යන්න. ඒක වැරදි මතයක්. ඊළඟ මතය තමයි පැරසිටමෝල් ඖෂධය ලබා නොදිය යුතුයි යන්න. ඒකත් වැරදියි. උණ වැළඳුනු දරුවන්ට නිසි මාත්‍රාවට අනුව ‘පැරසිටමෝල්’ ලබාදිය යුතුයි. ඩෙංගු උණ වැළඳුනු දරුවන්ට සමහර වෙලාවට පැරසිටමෝල් මගින් උණ අඩුවෙන්නේ නැහැ. මේ වෙලාවට සමහර වෛද්‍යවරු දරුවන්ගේ උණ අඩු කිරීමට ඉබියුප්රෝෆෙන් (Ibuprofen) මෙෆනමික් ඇසිඞ් (Mepenemic acid) සහ ගුද මාර්ගයෙන් ඇතුළු කරන ඩයික්ලෝෆෙනැක් (Diclofenac) වැනි ඖෂධ ලබා දෙනවා. මේක වැරදි ක්‍රියාවක්. එම ඖෂධ දරුවන්ට ලබාදීමෙන් සාමාන්‍ය ඩෙංගු උණ, රක්තපාත උණ දක්වා බරපතළ විය හැකිය.

දරුවාගේ උණ අඩු නැත්නම්, උණ අඩු කිරීමට ඖෂධ ලබා දෙන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් පීඩනයට ලක් නොකිරීමට දෙමාපියන් වගබලා ගත යුතුයි. නිසි මාත්‍රාවට ‘පැරසිටමෝල්’ ලබා දී ශරීරය තෙමා උණ අඩු කිරීමට දෙමාපියන් කටයුතු කළ යුතුයි.

7. නින්දේ සිටින දරුවාව අවදි කිරීම

රාත්‍රී කාලයේ නිදාගන්නා දරුවකු විටින් විට ඇහැරවා දියර වර්ග ලබාදීමට යෑමෙන් සිදුවන්නේ දරුවාගේ විවේකය අහිමි වීමයි. එම නිසා වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ශිරාගත දියර මුඛය මගින් ලබාදීමට කටයුතු කළ හැකියි.

ඩෙංගු උණ වැළඳුණු දරුවන් සම්බන්ධයෙන් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම, දරුවන්ට විවේකය ලබාදීම සහ අවශ්‍ය අවස්ථාවේදීම රෝහල්ගත කිරීමෙන් අවදානම් තත්ත්වයෙන් දරුවන් මුදාගත හැකියි.

8. ඩෙංගු රෝගය වැළඳිය හැක්කේ එක් වරක් පමණක් බවට මුල් බැසගෙන ඇති මිත්‍යා මතය

ඩෙංගු වෛරස් වර්ග 4 ක් තිබෙනවා. එමනිසා එක පුද්ගලයකුට ඩෙංගු හතර වතාවක් වැළඳීමේ සම්භාවිතාව තිබෙනවා. සමහර ඩෙංගු වෛරස ශරීරයට ඇතුළු වුණාම උණ හැදෙන්නේ නැතිවම වෛරසය ශරීරයෙන් ඉවතට යනවා. එය සිදුවන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අනුවයි. සමහර අවස්ථාවල පොඩි උණක් එන්න පුළුවන්. ඒ වගේම එක වතාවක් ඩෙංගු හැදුනාම ඊළඟ වතාවේ උණ බරපතළ වෙන්න පුළුවන් කියලා මතයක් තිබෙනවා. ඒක වැරදි මතයක්. ඩෙංගු වෛරසය එක එක කාලවලදී හැසිරෙන ආකාරය වෙනස්. සමහර වර්ෂවල පැතිරෙන ඩෙංගු වෛරසය බරපතළයි. සමහර වර්ෂවලදී බරපතළ රෝග ලක්‍ෂණ එන්නේ නැහැ.

ඩෙංගු උණ වැළඳුන පුද්ගලයන්ගෙන් සියයට දහයක (10%) පමණ ප්‍රමාණයක් තමයි රක්තපාත තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්නේ. ඩෙංගු උණෙන් මියයන්නේ මෙම ප්‍රමාණයෙන් සියයට එකක් (1%) පමණයි.රක්තපාත උණ ප්‍රධාන ලක්‍ෂණය තමයි රෝගියාගේ රුධිර පීඩනය අඩුවීම. අනෙකුත් ගැටලූ මතුවන්නේ රුධිර පීඩනය අඩුවීමෙනුයි. මෙම තත්වය වෛද්‍යවරු හඳුන්වන්නේ ෂොක් (shock) එකක් ලෙසයි. රුධිර පට්ටිකා අඩුවීමට වඩා ශරීරයේ රුධිර පීඩනය අඩුවීම භයානයකි. රෝගියාගේ රුධිර පීඩනය පාලනය කරනු ලබන්නේ ශිරාගත දියර මගිනුයි. මෙහිදී සේලයින් වැනි දියර රෝගියාට ලබාදීමට වෛද්‍යවරු කටයුතු කරනවා. එම ඖෂධ කුමන අවස්ථාවේ ලබාදිය යුතු ද යන්න තීරණය කරනු ලබන්නේ වෛද්‍යවරයා විසිනුයි.

ඇතැම් ඩෙංගු රෝගීන්ට වමනය සහ කෑම අරුචිය නිසා සමහර අවස්ථාවලදී වෛද්‍යවරුන් නියම කරන දියර ප්‍රමාණය ලබා දෙන්න බැහැ. මෙවැනි අවස්ථාවලදී දෙමාපියන් වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි. මෙහිදී වෛද්‍යවරුන් මුඛය මගින් ලබාදෙන සේලයින් වැනි ශිරාගත දියර ශරීරයට ලබාදීම මගින් අවදානම පාලනය කරනවා. ඩෙංගු වැළඳුණු දරුවකු රාත්‍රී කාලයේ නිදා ගැනීම ඉතා වැදගත් එම නින්ද මගින් දරුවාගේ ශරීරයට නිසි විවේකයක් ලැබෙනවා. විශේෂයෙන් රෝහල්ගත කළ දරුවන්ට විවේකය අත්‍යවශ්‍යමයි.

9. සුව වෙමින් සිටින දරුවාට ප්‍රමාණවත් තරම් විවේකයක් ලබා නොදීම

ඩෙංගු උණ වැළඳී සනීප වුණු දරුවෙකුට විවේකය අත්‍යවශ්‍යයි. දින කිහිපයක් පාසල් නොයවා ඉන්නවා නම් ඉතා හොඳයි. ඒ වගේම මෙම කාලයේදී දරුවන් මහන්සි වන ක්‍රීඩාවල නොයෙදීමට දෙමාපියන් වගබලා ගත යුතුයි. ඩෙංගු වෛරසය අඩුවැඩි වශයෙන් ශරීරයේ සෑම ඉන්‍ද්‍රියකටම බලපානවා. මේ නිසා සති කිහිපයක් යනතුරු දරුවන් වෙහෙසකර ක්‍රීඩාවල නොයෙදීමට දෙමාපියන් කටයුතු කළ යුතුයි.

රසී වීරසිංහ සමඟ සාකච්ඡා කොට සම්පාදනය කරන ලදී.
මෙම ලිපිය පෙර "දිවයින" පුවත්පතේ පළ වූ අතර ආචාර්ය අජිත් අමරසිංහගේ අවසරය ඇතිව මෙහි පල කර ඇත.